Monday, April 4, 2016

මහා වනාන්තරයක් වූ අපේ ගම

අවුරුදු 300කට පෙර මහගම වනාන්තරයකි. ඒ බව මා දන්නේ අපේ සීයා ( ඔහු උපන්නේ 1896 ය.) කී කරුණු නිසාය. එකල  ගමේ අලි පමණක් නොව  දිවියන්ද  සිටියහ. වරක් අපේ  සීයා   කී පරිදි  ඔහුගේ සීයාගේ  කාලයේදී මහගම වල් අලි සිටියහ.  සීයාගේ සීයා උපදින්නට ඇත්තේ  1800 -1820 ත් අතරය. ඒ බව මට සිතා   ගත හැක්කේ  1900 දී අපේ  පැරණි නිවස ඉදිරිපස ගනු ලැබූ පින්තුරයක් නිසාය .


මේ පින්තුරයේ කවිච්චිය අසල හිටගෙන සිටින කුඩා ළමයා අපේ සීයාය. සුදු ඇඳුමෙන් සැරසී මැදින් වාඩිවී සිටින්නේ සීයාගේ සීයාය. පින්තුරය ගෙන තිබෙන්නේ 1900 දීය. සීයාගේ සීයා උපදින්න  ඇත්තේ  1800- 1820 අතර බව  මා   කියන්නේ  ඒ නිසාය.

අපේ  ගමේ    පළමුව  ජනාවාස වී ඇත්තේ  ගංගොඩවත්ත ප්‍රදේශයේය. එයට හේතුව වී ඇත්තේ ගංගොඩවත්ත ප්‍රදේශයේ මිනිරන් හමුවීම  නිසාය. අපේ සීයා   කිව්  පරිදි  මිනිස්සු මහගමට  පදින්ච්යට ආවේ  ඕමත්ත පැත්තේ සිටය.. මිනිරන් පතල් වල වැඩට පැමිණි මිනිස්සු නිවාස සාදාගෙන  ස්ථිර ලෙසම  පදිංචි  වී තිබේ. මිනිරන් කර්මාන්තයෙන් පොහොසත්වූ 'පොලේගොඩ මුදලාලි ' කෙනෙකු ගැන  ' කඩුල්ල ' නමැති ජනප්‍රිය ටෙලි නාට්‍යයේද  කියවේ. එකල  අපේ  ගමේ සහ  දිස්ත්‍රික්කයේ  තත්ත්වය ගැන  පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට එම  නාටකය  බැලීමෙන් ඔබට පුළුවන.

ගම හරහා දිවෙන අගලවත්ත බුලත්සිංහල  මහා මාර්ගය  තනා තිබෙන්නේ 1920 ගණන්වලය. හිටපු ඇමතිවරයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා මහතා සිය  ආචාර්ය  උපාධිය සඳහා ලියු 'ලංකාවේ මහා මාර්ග ' නමැති කෘතියේ ඒ බව සඳහන් වී තිබේ.

මා  පුංචි කාලයේ  පවා ගෝනුන් සැලකිය යුතු සංක්‍යාවක් ගමේ සිටියහ. වඳුරු රංචු විශාල  වශයෙන් සිටියහ. ඇතැම් මිනිසුන් ඔවුන් මරා  ආහාරයට ගත්  බැවින් එම සතුන් ක්‍රමයෙන් වඳවී ගොස් තිබේ.ඉඳහිට  යලිත් වඳුරු රංචු සහ රිලවුන් රංචු කීපයක් ගමේ  තැන තැන්වල දැන් දැකිය  හැක්කේ වඳුරන් මරා ගෙන  කෑම මිනිසුන් අතහැර දැමීම  නිසා විය යුතුය.

( ඉතිරි විස්තර හෙට).





Saturday, April 2, 2016

මහගම අවුරුදු 50 කට පෙර (පළමු කොටස)


ගමේ  පාසල් 

තවත් අවුරුදු 50ක් ගිය තැන අපේ  ගම තව දුරටත් ගමක් නොවනු ඇත. එය  නගරයක් වනු ඇති බවට සැකයක් නැත. නගරයක් නොව  ගමක් ලෙසම තිබුනා නම් කොතරම් හොඳ දැයි ඒ කාලයේ  ජීවත් වන අය  සිතනු ඇත.

මෙයට අවුරුදු 50 කට පෙර තිබු  අපේ  ගමත් අද තිබෙන  අපේ  ගමත් අතර ඇත්තේ  මහත් පරතරයකි. එදා ගම  පිළිබඳව මා   මෙහි ලියන්නේ  අද ජීවත් වන විශේෂයෙන්ම තරුණ  ඔබටත් අනාගතයේ  බිහිවන   මහගම පරපුරටත් දැන ගැනීම සඳහාය. 

අවුරුදු 50 කට පෙර මා පාසල් ශිෂ්‍යයෙකි.  එකල ගමේ තිබුනේ  පාසල්  දෙකකි. ඒ  පොලේගොඩ විදුහල සහ  මහගම කනිටු විදුහල .එකල පොලේගොඩ විදුහල  මහා විද්‍යාලයක් නොවේ. පන්ති තිබුනේ  හෝඩියේ (පහල   බාලාංශය ) සිට ජ්‍යෙෂ්ට පන්තිය  (  අපොස සා. පෙ. සමානය) දක්වාය. දෙල්පාවත්ත ක.වී. එසේමය.

එකල අපි පාසල් යන්නේ  පා ගමනිනි.මහ පාරේ (කලවල්ලාව-මතුගම පාර.) වාහනයක් එන්නේ  කලාතුරකින් බැවින් දෙමපියෝද දරුවන් බය නැතිවම පාසල් යාවත්.. එකල අතුරු පාරවල  තාර දමා තිබුනේද නැත.ළමුන් බොහොමයක් පාසල් යන්නේ  සරමක් සහ කමිසයක් ඇඳගෙනය.කොට කලිසම් ඇඳ පාසල් යන්නේ   කලාතුරකින් ළමයෙකි. ගැහැණු ළමුන් තරමක්  දිග ගමුම් ඇඳ ගෙන යති. කවුරුත් සෙරෙප්පු දමන්නේ  නැත. පොත් දමා  ගෙන යන්නේ  පන් මල්ලකය. අපි පුංචි කාලයේ  කිරි කෝප්පයක් සහ බනිස් ගෙඩියක්  බැගින් සෑම  ළමයෙකුටම  පාසලෙන් ලැබේ. අපේ  දෙමාපියන්  පාසල් ගිය  කාලයේ  පාසලේදී බත් ලැබුණු බව කියනු මා  අසා ඇත.

1960 ගණන් දක්වා පොලේගොඩ විදුහලේ  තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණය.ක්‍රීඩා පිටියක් තිබුනේද නැත. දැන් ක්‍රීඩා පිටිය තිබෙන තැන එකම කැලෑවැකි. පිරිමු ළමුන් මුත්‍රා කිරීමට යන්නේ එතනටය. ගැහැණු ළමුන්ට සහ ගුරුවරුන්ට නම් වැසිකිලි දෙකක් තිබිණ.  දෙල්පාවත්ත හන්දියේ  තිබෙන මහගම ක.වී.හී තිබුනේද ගොඩ නැගිලි දෙකක් පමණි.ඉම්මිල්ල පාරේ තිබෙන  පාසල් ගොඩ නැගිලි හැදුවේ ඉතා මෑතකදීය.

පොලේගොඩ විදුහලේ ඉතා සැර විදුහල්පති වරයෙක් 1950 දසකයේ සහ 1960 දසකයේ  මුල් කාලයේ සිටියේය. ඔහුගේ  නම ගුනසේනය. ඔහු අඩි 5 ක්වත් උස නැත. ඇන්දේ ජාතික ඇඳුමය. අවිවාහකයෙකු වූ ඔහු පාසලේම නැවතී සිටියේය, වැරදි කරන ළමුන්ට ඔහු කොතරම් ශබ්ද  නගා  බනින්නේද  යත්  පොලේගොඩ හන්දියට පවා ඔහුගේ  ඝෝර නාඩුව  ඇසේ. බනින විට  ඔහු නිතර  කී වාක්‍යයක් වන්නේ " කට්ට  කයිරාටික වෙට්ට පිත්තල  එවුන්" යන්නය.

පොලේගොඩ විදුහල  පළමුවෙන් අරඹා ඇත්තේ  තැන්නහෙන පාරේ මහවත්තට හැරෙන තැන ඉඩමකය. මහගම සමජසේවකයෙකු වූ සුදර්ශනාරාම  පාරේ පදිංචිව සිටි කුලරත්න  නම් මහතෙකු පාසැල පටන් ගැනීමට මුල්වී තිබේ. පළමු ශිෂ්‍යයා වී ඇත්තේ  ඔහුගේ පුත්වූ  සෝමපාල කුලරත්න මහතය. සෝමපාල මහතා  පසු කලක මහගම තැපැල් හලේ ස්ථානාධිපතිවරයා විය. ඔහුද මීට අවුරුදු 2කට  පෙර (1914)  මියගියේය.

මහගම පළමුවෙන් ඇරඹු පාසැල උතුරු මහගම පිහිටි මහගම ක.වී. යයි. එය  ඇරඹීමට මහගම සුදර්ශනාරාමයේ  විසු භික්ෂුවක්  මුල් තැන ගත්  බව මා අසා තිබේ.

(දෙවන කොටසින් ගමේ  වෙනත් විස්තර )