පහේ පන්තිය සමත් වෙන තුරු මා ඉගන ගත්තේ පොලේගොඩ මහා විදුහලේය. එකළ එය මහා විදුහලක් කර නොතිබුණද ජ්‍යෙෂ්ට පන්තිය (10) දක්වා පන්ති තිබුණි. ඒ වෙනකොටත් මා දුම්රියේ කීපවාරයක් ගොස් තිබුණු බැවින් අපේ ගම හරහාද කෝච්චි දුවන්නේ නම් කොපමණ හොඳ දැයි හිතුනු වාර ගණන බොහෝය. රේල් පාරක් අපේ ගම හරහා දැමීම සඳහා භුමිය ලකුණු කොට අත් හැර දැමු බව වැඩිහිටියන් දෙතුන් දෙනෙකු කියනු මට ඇසී තිබේ. එවැනි හොඳ වැඩක් අත් හැර දැම්මේ මක් නිසාදැයි මම කීප දෙනෙකුගෙන් ඇසුවත් හරි උත්තරයක් දුන් කෙනෙක් නැත.
දවසක් බුලත්සිංහල පොලීසියේ ලොකු මහත්තයා අපේ ඉස්කෝලෙට උදැසන රැස්වීමට ආවේය . වාහනයකට යට නොවී පාසලට එන යන හැටි සිසුන්ට කියා දීම ඔහුගේ අරමුණ විය. එකල ම ඉගන ගත්තේ 3 පංතියේය. යුනිෆෝර්ම් ඇඳ පොලිස් කැප් එක දම ගෙන සිටි ඔහු දෙස බැලීම පවා හිතට මහත් බියක් ගෙන දුන්නේය.
දකුණු පසින් පාරේ ගමන් කරන ලෙසත් පාරේ අනිත් පැත්තට යාමට උවමනා වූ විට පාරේ වම් පැත්ත දෙස පළමුව බලන ලෙසත් දෙවනුව දකුණු පැත්ත දෙස බලන ලෙසත් යලිත් වම් පැත්ත දෙස බලන ලෙසත් වාහන නොමැති නම් ඉන්පසු පාරේ අනිත් පැත්තට මාරු වන ලෙසත් ඔහු කීය මෙය ඔහු කීප වරක් සිසුන්ට කටපාඩම් කරවීය.
ඇත්තම තත්ත්වය නම් එකල පර අයිනට වී පැය භාගයක් බලා සිටියත් එන වාහනයක් නැත. ඒ කාලයේ පාරේ පිණුම් ගසමින් උවද ගෙදර යා හැකිය. ගමටම තිබුනේ කාර් තුන හතරකුත් ලොරි දෙකකුත්ය මොර්ටර් බයිසිකලයක් බෙහෙතකට ගැනීමටවත් ගමේ ගෙදරක තිබුනේ නැත.
පොලිසියේ ලොකු මහත්තයා දේශනය අවසන් කොට ප්‍රශ්න තිබේදැයි සිසුන්ගෙන් ඇසීය ,අපේ ගමේ රේල් පාරක් නැත්තේ ඇයිදැයි ඔහුගෙන් දැනගැනීමට මට උවමනා විය. එහෙත් හිත බියෙන් වෙවුලයි කකුල්දෙකටද පන නැති සේය. එහෙත් මගේ කුතුහලය බිය අභිභවා ගොස් පරනය ඇසීමට මගේ කටට පන ආවේය.
'මේ පැත්තෙන් කෝච්චි පාරක් දාල නැත්තේ මොකද?"
ඔහු දුන් පිලිතුර මෙසේය .
" මේ පැත්තේ රේල් පාරවල් දාල නැත්තේ වෙන හේතුවක් නිසා නොවෙයි, පොලොව හය්ය නැති නිසා .මෙහෙ රේල් පාරවල් දාල කෝච්චි ගියොත් පොලොව ගිලා බහිනවා."
හවත් අවුරුදු 4ක් 5ක් යන තුරුම පොලිස් ඉන්ස්පැක්ටර් කිව් කතාව ඇත්තක් ලෙස පිලිගතිමි.