Sunday, March 26, 2017

මහගමට ආ මනුස්ස වඳුරා




          මේ වඳුරු  රාල  ඉන්නේ  අපේ  ගමේ මහගම  ඉම්මිල්ලේ . වයස අවුරුදු 15ක් . මෙයාව  හදා වඩා  ගන්නේ නන්දනී . මෙයා වඳුරෙක්  උනාට  මනුස්ස  ගති  ගුණ සැහෙන්න  තියෙනවා. උදේට  කිරි බොන්න  ඕනේ . හැන්දකින්  පොවන්නේ  නන්දනී. උදේ  පාන්දරින් කිරි එක  ලැබෙනකම් මෙයා  නොයිවසිල්ලෙන්  ඉන්නේ. පරක්කු උනොත් කෙඳිරි  ගගා  කිරි ඉල්ලනවා. මෙයාගේ  නමත්  කිරා. හැන්දෑවට මදුරුවෝ  ඉන්නවනම්  මදුරු  කොයිල් එකක් පත්තු  කරන්න  කියල  නන්දනිට වද  කරනවා.
ඉතින් නන්දනීට  මදුරු  කොයිල් වලටම සෑහෙන  ගානක්  යනවා මෙයාව සලකන්න ගිහින්  .

කිරා කියන මේ  මනුස්ස  වඳුරා  නන්දනී  හොයාගෙන  ආපු  හැටි හරිම  සංවේදී  කතාවක් . මන් මේ  සුදානම් වෙන්නේ  ඒ  දුක  හිතෙන  කතාව  ඔබට  කියන්නයි.

වැඳිරියකට  පුතෙක්  හම්බ  උණොත් එයාව  පරිස්සම්  කරගන්න  එක  අන්තිම  අමාරුයි . ග්‍රහ  අපල  උපද්‍රව  කාරිය  නිසා  නොවෙයි. රැලේ වැඳිරියන්ට දු වරු  ලැබෙන  තරමට රැලේ  නායක වඳුරා  කැමති  උනත්  පුත්තු  ලැබෙනවට  කොහෙත්ම  කැමති  නැහැ.  තමන්ගේ අන්තඃ පුරය  තවත්  කෙනෙකු සමග  බෙදා  ගන්න අපේ  රජවරු  අකමැති  උනා වගේම රැලේ  නායක වඳුරත්  කීයටවත්  කැමති  නැහැ තමන්ගේ  හාමිනේලාට  ලැබෙන  පුත්තුත් එක්ක  අන්තඃ පුරය  බෙදා  හදා  ගන්න. ඒ  නිසා වඳුරු  නායකයා  හැම  තිස්සෙම  බලන්නේ උපදින පිරිමි  කිරිකැටියන්ගේ  බෙල්ල  මිරිකලා  ඉවරයක්  කරගන්න. ඒ  නිසා  වඳුරු අම්මලාට තමන්ගේ  පුත්තු  බෙර ගන්න  ලැබෙන අවස්ථා  හරිම අඩුයි.

  දවසක්  නන්දනිගේ  ළඟ  ඥාති  සහෝදරයෙක්    රබර් වත්තක්  මැදින්  තරමක්  දුර  බැහැර  හේනකට  යන  අතර  තුර වඳුරු  රංචුවක  හිටපු  වැඳිරියක්  ගහෙන් ගහට  පනිමින්  ඔහු  පසු  පස  ටික  දුරක්  ඇවිත්  ඔහු  ඉදිරියට මොකක්දෝ  රතුපාට දෙයක් විසි   කරලා .  ලංවෙලා  බැලුවම  ඉපදිලා දින  හතරකට  පහකට  වඩා  වයස  නැති වඳුරු පැටියෙක්. බිමට වීසි  කරපු  නිසා ගල් මුල්වල වැදිලා වඳුරු පැටිය සැහෙන්න  තුවාලත් වෙලා . ඔහු වඳුරු  පැටියව  ගලක් උඩින්  තියල ඈත් වෙලා  ටික වෙලාවක්  බලා  ඉඳල පැටියව  අරන් යයිද  කියල  බලන්න.වැඳිරිය  බිමට  බැහැල  පුතාව  ටිකක  තුරුළු  කරගෙන  ඉඳල  ආපසු  ගල උඩින්  තියල නන්දනිගේ  ඥාති සහෝදරයාගේ  මුණ   දිහා  බලන්  ඉඳල  ටික වෙලාවක් . ඉන්පස්සේ වඳුරු අම්ම  ගහට  නැගල  වඳුරු  රංචුව  හිටිය  පැත්තට   ආපහු  යන්න  ගිහින් .

කතාවේ  හොඳම  හරිය   නන්දනී  මහත්මිය  මා සමග  කිව්වේ  මෙහෙමයි.

" අය්ය වඳුරු පැටියව  මගේ  අතට  දීල  කිව්වා  හදා ගන්න  කියල. මන් බෑම කිව්වා. අය්යාගේ  වදේ  නිසාම  මන් හදන්න  පටන් ගත්ත. මුලින්ම  සුප්පුවෙන් කිරි  පෙව්වා. බොහොම ආසාවෙන් සුප්පුවෙන් බිව.  පස්සේ  පලතුරු එහෙම  පොඩි  කරලා  කැව්වා. පහු වෙන්න  වෙන්න ඕන දෙයක් කන්න  පටන් ගත්ත . ටික  ටික  උස්  මහත්  උනා. බත්  එහෙමත් දුන්න.  ගේ ඇතුලේමයි  හදා  ගත්තේ. නිදා  ගන්න ඇඳකුත්   දුන්න. හැබැයි ඇඳේ  කවදාවත්  චු  කරේවත්  නැහැ.  ඕන  උනාම  කැලේට යනවා. පස්සේ දවසක්  කැලේ  ඉන්න වඳුරෙක්  ආව  මුව  මරන්න.  ගේ  ඇතුලටම  එන්න  පටන් ගත්ත . බේරෙන්න  බැරි  පාර  මන් කිරාව හික්කඩුවේ  සත්තු  හදන  තැනකට  ගිහිල්ල  දුන්න . දවස්  තුනකට  පස්සේ  කෝල් එක ආව  එතනින්. ඒ  ගොල්ල  කිවා  වඳුරා දවස්  තුනක් තිස්සේ  කන්නෙත්  බොන්නෙත්  නැතිව  අඬනව  කියල. ඔයාගේ  ඉස්සර  ආත්මේක  ඥාතියෙක් වෙන්න  ඕන . ඇවිත් එක්ක  යන්න  කියල  කිව්වා .මොනවා  කරන්නද  මන් වැන් එකක් අරගෙන  ගියා . මාව දැක්කම  පුදුම  සතුටක්  මෙයාට  ඇති උනේ.මගේ සාරිය  අතාරියෙම  නෑ වැන්  එකේ  ගේ  කිට්ටුවටම එනකම්ම ."

  නන්දනී  මහත්මිය  කිරාගේ  හිස අතගාමින් මෙසේ  කීවාය.

  "කැලේ වඳුරා ආයිත් එන්න  පටන් ගත්ත මුව  මරල දාන්න  .  ඒ විතරක් නෙවෙයි   ගමනක් බිමනක්  යන්නත්  බෑ අපිට  මෙයාව ගේ ඇතුලේ දාල. ඉති  ඒ  නිසා  රුපියල් 15000ක් විතර  වියදම්  කරලා එළියෙන් කුඩුවක්  හදල දුන්න . එකේ  ඉඩකඩ  තියෙන නිසා  දැන්  සතුටෙන් ඉන්නවා . මන් සතියකට  වරක් සබන් ෂැම්පු  දාල  නාවනවා. ගෙදර වත්තට සතෙක් සර්පයෙක් එහෙම  ආවොත් අමුතු  විදිහකට  කෑ ගහල  අපිට අනතුර දැනුම් දෙනවා .   "  නන්දනී  මහත්මිය  කතාව අවසන්  කරමින්  කීවාය.

( ඉහත සිද්ධිය  මට දැන  ගන්නට  ලැබුනේ  ඇගේ  නිවසේදී ළමුන් කීප දෙනෙකුට සති  පතා  ඉංග්‍රීසි  ඉගැන්වීම සඳහා පැමිණෙන  ලෙස  මට  කළ ඇරයුම අනුව එහි  ගිය විටය .)

                                                                            බර්ටි  රණවීරගේ

                                                                            (විශ්‍රාමික  ඉංග්‍රීසි අධ්‍යාපන  අධ්‍යක්ෂ) 

                                                                            072 215 97 87  





Tuesday, January 17, 2017

මහගම පැරණි ගෙවල් සොයමු.

 අපේ  ගමේ  පැරණි  ගෙවල් දැන් බොහොමයක් අභාවයට  ගිහින්. එත්  කීපයක්  විතරක් ඉතුරු වෙලා  තියෙනවා. ඒ  ගෙවල්  හදල  තිබුනේ සහ  ඉතිරි වී  ඇති  කීපය  හදා  තිබෙන්නේ  ලන්දේසි ගෘහ  නිරමාණ  කලාව  අනුවයි.

මේ  ඉතුරු ගෙවල්  කීපයත්  අභාවයට  ගොස්  අවසන් හුස්ම  හෙලීමට  පෙර  ඒවායේ  පින්තුර  අරගෙන  ඔබ  මා වෙත  එවනවනම්  හෝ මේ  බ්ලොග් අඩවියේ  පළකරනවා  නම් ඉතාමත් ඉහල සේවයක්. එවිට  තව  අවුරුදු 1000ක් ගත උනත් අනාගත  පරපුරට ඒවා  බලා  ගන්න  පුළුවන් .


මේ  තියෙන්නේ අපේ  පැරණි ගෙය  සහ එකල  අපේ  නිවසේ  විස  අය  සහ  ගමේ සහ ගමට සම්බන්ධකම් තිබුණු ප්රුභුවරුන්  සිටින  චායරුපයක් . මේ  පින්ත්රය ආරගෙන  තිබෙන්නේ ක්‍රි.ව. 1900. නිවස  පිහිටා  තිබුනේ  මහගම සුදර්ශනාරාමය ආසන්නයේ.

අපේ පැරණි ගෙය  හදා අවසන්  කර  තිබෙන්නේ 1899. මා එය  දන්නේ  නිවසේ සාලයේ  තිබු  ආරුක්කුවට  ඉහලින් 99-2-10 යන  දිනය තිබු  නිසයි . මේ  නිවසේ බිත්ති සාදා  තිබුනේ  වරිච්චි වලින්.එහෙත් සුදු හුණු  තට්ටුවකින් කපරාරු කර  තිබු  නිසා  වරිච්චි වලින් තැනු  බවක් පිටතට  පෙනෙන්නේ නැහැ.

මේ නිවසේ   ඉදිරිපස ඉස්තෝප්පුවක්  කාමර තුනක් ශාලයක්  සහ පිටුපස උතුරේ සිට දකුණු දෙසට පටු passage එකක් තිබුණු අතර ම උපදින්නට පෙර ඊටත් පසු පසින් කුස්සියක් තිබී තිබෙනවා  මට මතක කාලයේ ආහාර පිසුවේ එම passage එක එක පැත්තකයි 
ලස්සන සිවිලිමක් මෙන්ම සොල්දරයක්ද තිබුනා 

පැරණි ගෘහ භාණ්ඩ තිබු  අතර කවිච්චියක් වියන් ඇඳක් පැරණි ලාම්පු තුනක් කනප්පු  කීපයක්,  ටීපොවක් පැරණි බිත්ති ඔරලෝසුවක්  පුටු ගණනවක් ඒ අතර වෙනවා 

අපේ  පැරණි  නිවස  1994 දී  කඩා  දමා අලුත්  නිවසක් මා එහි  තැනුව  නමුත් එය   තවත් අවුරුදු 10 ක් 15ක් පැවතීමට  හොඳටම  ඉඩකඩ  තිබුනා .

ඔබ  දන්නා  මහගම  තිබෙන  පැරණි  නිවාසයන්හී  පින්තුර  සහ එය  පිහිටි ස්ථාන email කර  එවන  ලෙස  මතක්  කර  සිටීමට කැමතියි.



email ලිපිනය   premalal5555@gmail.com



Thursday, December 29, 2016

මහගම රේල් පාර

පහේ පන්තිය සමත් වෙන තුරු  මා  ඉගන ගත්තේ  පොලේගොඩ  මහා විදුහලේය. එකළ එය  මහා විදුහලක්  කර  නොතිබුණද  ජ්‍යෙෂ්ට පන්තිය (10) දක්වා පන්ති තිබුණි. ඒ වෙනකොටත් මා  දුම්රියේ  කීපවාරයක් ගොස්  තිබුණු  බැවින් අපේ  ගම  හරහාද  කෝච්චි දුවන්නේ  නම් කොපමණ හොඳ  දැයි  හිතුනු  වාර  ගණන  බොහෝය. රේල්  පාරක් අපේ  ගම  හරහා දැමීම සඳහා භුමිය  ලකුණු කොට අත් හැර දැමු බව  වැඩිහිටියන් දෙතුන් දෙනෙකු  කියනු  මට ඇසී  තිබේ. එවැනි  හොඳ වැඩක් අත් හැර දැම්මේ  මක් නිසාදැයි මම  කීප දෙනෙකුගෙන් ඇසුවත්  හරි  උත්තරයක් දුන් කෙනෙක්  නැත.


දවසක්  බුලත්සිංහල  පොලීසියේ ලොකු මහත්තයා අපේ  ඉස්කෝලෙට උදැසන රැස්වීමට ආවේය .  වාහනයකට  යට  නොවී  පාසලට  එන  යන  හැටි සිසුන්ට  කියා දීම ඔහුගේ අරමුණ  විය. එකල  ම  ඉගන  ගත්තේ 3  පංතියේය. යුනිෆෝර්ම් ඇඳ පොලිස් කැප් එක  දම  ගෙන  සිටි  ඔහු දෙස බැලීම  පවා හිතට  මහත්  බියක් ගෙන  දුන්නේය.

දකුණු  පසින්  පාරේ  ගමන්  කරන  ලෙසත්   පාරේ  අනිත් පැත්තට යාමට  උවමනා වූ විට  පාරේ  වම්  පැත්ත දෙස  පළමුව  බලන  ලෙසත් දෙවනුව දකුණු  පැත්ත දෙස  බලන  ලෙසත්  යලිත් වම්  පැත්ත දෙස බලන ලෙසත් වාහන  නොමැති  නම් ඉන්පසු  පාරේ  අනිත්  පැත්තට  මාරු වන  ලෙසත් ඔහු  කීය මෙය  ඔහු  කීප වරක් සිසුන්ට  කටපාඩම්  කරවීය.


ඇත්තම තත්ත්වය  නම් එකල  පර අයිනට වී  පැය භාගයක්  බලා සිටියත් එන වාහනයක්  නැත.  ඒ  කාලයේ පාරේ  පිණුම්  ගසමින් උවද  ගෙදර  යා  හැකිය. ගමටම තිබුනේ  කාර් තුන  හතරකුත් ලොරි දෙකකුත්ය මොර්ටර් බයිසිකලයක් බෙහෙතකට  ගැනීමටවත් ගමේ  ගෙදරක  තිබුනේ  නැත.


පොලිසියේ  ලොකු  මහත්තයා දේශනය  අවසන්  කොට ප්‍රශ්න තිබේදැයි  සිසුන්ගෙන් ඇසීය ,අපේ  ගමේ  රේල්  පාරක් නැත්තේ  ඇයිදැයි ඔහුගෙන් දැනගැනීමට මට  උවමනා විය. එහෙත්  හිත  බියෙන් වෙවුලයි   කකුල්දෙකටද පන  නැති සේය. එහෙත් මගේ  කුතුහලය බිය අභිභවා  ගොස් පරනය ඇසීමට  මගේ  කටට  පන ආවේය.

'මේ  පැත්තෙන් කෝච්චි පාරක්  දාල  නැත්තේ  මොකද?" 

ඔහු දුන් පිලිතුර   මෙසේය .

" මේ  පැත්තේ රේල්  පාරවල් දාල  නැත්තේ වෙන  හේතුවක් නිසා නොවෙයි, පොලොව  හය්ය  නැති නිසා .මෙහෙ රේල්  පාරවල් දාල  කෝච්චි  ගියොත්  පොලොව ගිලා  බහිනවා."

හවත් අවුරුදු 4ක් 5ක් යන  තුරුම පොලිස් ඉන්ස්පැක්ටර් කිව්   කතාව  ඇත්තක් ලෙස පිලිගතිමි.

Monday, November 14, 2016

දෙවොල් මඩුව නොවැම්බර් 19




ඔන්න  මහගම  වාසි  ඔබට දෙවොල්  මඩුවක්  එළිවෙනකම්  බලා   ඉන්න  අවස්ථාවක්  උදාවෙලා. මේ මාසේ (නොවැම්බර්) 19 පොලේගොඩ  ඔන්චිල්ලා  පොලට  ආසන්නයෙන්  පැවැත්වෙන්නේ.

ෆේස් බුක්  කට්ටියට  දෙවොල්  මඩුවේ  පින්තුර  අරගෙන  ලෝකේ  පුරා  යවන්නත්  හොඳ  චාන්ස් එකක් ඇවිත්  තියෙන්නේ.

දෙවොල්  මඩුවක් නටන්නේ  ගමට  සෙත්  සාන්තියක්  ඉන් උදා වේවි  කියන  විශ්වාසය  මතයි.ඒ  ගැන  වැඩි  විස්තර විකිපීඩියා  විශ්වකෝෂයේ  පලවී  තිබෙනවා. සිංහලෙන්  එය  පලවී  තිබෙන  බැවින් ඔබට එය  පහසු වේවි..



Monday, November 7, 2016

හොල්මන් ගෙදරින් පිටවූ දින සිට ඇරඹුන කතන්දරය

 හොල්මන් ගෙදර ගැන  මා ලිවූ ලිපිය 3904 දෙනෙකු කියවා  තිබුණු  අතර එම  පිරිසෙන් 3000ක් අපේ  ගමේ වැසියන්   බවට සැකයක්  නැත. ඒ ගැන  පුංචි  පහේ  ආඩම්බරයක්ද මා සිත  තුලට කඩා වැදී  තිබේ. නව  තාක්ෂණය  අපේ  ගමේ අය විසින්   කොපමණ  වැළඳගෙන  ඇද්ද  යන්නට එය  හොඳ  සාක්කියක් නොවේද?

අපේ  ඉංගිරිසි  ඉස්කෝලේ  හෙවත් MAHAGAMA ENGLISH SCHOOL හොල්මන් ගෙදරින් ඉවත්  කර  ගෙන  මා පැමිණියේ පොලේගොඩ  පාර  අද්දර තිබෙන  ගොඩනැගිල්ලකටයි. හරියටම  කියතොත් මහගම ස්ටෝර්ස් පසුකොට මහගම තෙල් පිරවුම්  හල  දෙසට මීටර් 100ක් ගිය විට දකුණු  පස  තිබෙන  ගොඩ නැගිල්ලේ බිම් මහලටයි .එතැන් සුන්දර  ස්ථානයක්  එක  පසකින් දකින්නට  ලැබෙන්නේ ලස්සන  තේ  වත්තක් .හැම  විටකම  වගේ  හමන  මද  සුළඟ  විසින් ගොඩනැගිල්ල  A C  කර තිබෙනවා. මා   මේ  දිනවල ඉංග්‍රීසි  පාසැල  තුළ  ඉංග්‍රීසි  පරිසරයක්  ගොඩ  නගමින්  ඉන්නේ . එය හේතුව  ළමුන් හොඳින් සහ  කැමැත්තෙන්   ඉංග්‍රීසි ඉගෙන  ගන්නේ  ඉංග්‍රීසි  පරිසරයක්  තුළ  නිසයි.

ලබන  මාසේ  ( 2016 දෙසැම්බර් මස)  පළමුදා සිට වඩාත් කැමැත්තෙන්  ඉංග්‍රීසි  ඉගනීමට ළමුන් ඉගනීමට  පෙළඹ වීම  සඳහා නව වැඩ  පිළිවෙලක්  ක්‍රියාත්මක  කිරීමට සුදානම් කොට  තිබෙනවා. එක්  අංගයක් වන්නේ  පළමු ශ්‍රේණියේ  සිටම සැම  සිසුවෙකුටම ඉංග්‍රීසි  කතා  කිරීමට  පුහුණු  කිරීමයි .තවත් වැදගත් පියවරක් වන්නේ සිසුන් අතර  ඉංග්‍රීසි භාෂා තරඟ  සතිපතා  පවත්වා තෙමසකට වරක්  තෑගි දීමටත් වසරකට වරක්  සහතික  පත්  ප්‍රදානය  කිරීමයි .

මගේ ප්‍රධානතම  අරමුණ  වන්නේ මහගම වත්මන්  පරපුර ඉංග්‍රීසි  කතා  කළ  හැකි  පිරිසක්  බවට පත්  කිරීමයි.










Wednesday, November 2, 2016

හොල්මන් ගෙදර අවුරුදු දෙකක්

මහගම  මානාන  ප්‍රදේශයේ  මහපාර  අද්දර තිබෙන  කන්ට්‍රෝල් බංගලාව ගමේ  බොහෝ  අය  දන්නා  බවට  සැකයක්  නැත. මෙය ඉතා  විශාල නිවසක් වන  අතර සෑම කාමරයකටම  වාගේ  නාන  කාමර  තිබේ. අවුරුදු හතටකට පෙර මෙහි  අයිතිකරු  හර්ධයාබාධයකින්   මිය  යාමෙන්  පසු ඔහුගේ  බිරිඳත් දරුවනුත්  නිවස අත් හැර දමා කොළඹ ආසන්නයට පදිංචියට  ගියහ.

මෙම  නිවස විවිධ  අයට  වරින් වර කුලියට දී  තිබු  නමුත් වැඩි  කලක්  ඒ කිසිවෙකු එහි පදිංචිව  සිටියේ  නැත.වරක් කුඩා තේ  වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය  කාර්යාලය  මෙහි පවත්වාගෙන  ගිය  නමුත් අවුරුද්දකට  පසු එය මතුගමට ගෙන  යනු  ලැබීය.ඉන්පසු  වෙනත් අයෙකු මේහි හෝටලයක් ආරම්භ  කළ නමුත් මාස  කීපයකින්  පසු එය අවසන්  විය.ඉන්පසු  එක්තරා  පවුලක්  මෙහි  පදිංචියට ආ  නමුත් ඔවුන් සති දෙකකට වඩා  පදිංචිව  සිටියේ  නැත. සුදු  පාටට ඇඳගත්  කිසිවෙකු එහි පිටත පිහිටි වැසිකිළියක සිට එලියට  එනු  දින දෙකක්  රාත්‍රියේ  දැකීම  නිසා බියට  පත් එම  පවුලේ  අය වෙනත් නිවසක්  සොයාගෙන  යන්නට  ගියහ. ඉන්පසු  එහි  පදිංචියට  ආවේ මෙහෙණින්  වහන්සේලාය . ඔවුන් රාත්‍රිය  පුරා  පිරිතක් කියා  පදිංචි වූ  නමුත් ටික කලකින්  නිවස අත්හැර  යන්නට  ගියහ.

ඉන්පසු  එහි  පදිංචියට   ගියේ  මා ය. එම නිවසේ  කොටසක්  කුලියට ගත්  මා ඉංග්‍රීසි   පාසලක් ආරම්භ කළෙමි ඒ  2014 සැප්තැම්බර් මාසයේය. එහි  ඉගනීමට  ආ අවුරුදු 13ක් පමණ වන  ,මේ ස්ථානයට  ආසන්නයේ    පදිංචි ගැහැණු  ළමයෙකු දිනක්  මට  කීවේ අරුම  පුදුම  කතාවකි. මා  එහි  පාසැල ආරම්භ  කිරීමට වසරකට  පමණ  කලින් දිනක  ඇය එම  නිවස  අසලින්  පාරේ යන විට වසා  තිබු  නිවසේ  ඉදිරිපස  දොර  විවුර්ත කරගෙන  පැමිණි මිනිසෙකු  නිවසට එන  ලෙස අත වනා සංඥා කළ බව කීවාය. බියට  පත් ඇය ඇගේ  නිවසට දුව  ගිය  බව  තව  දුරටත් කීවාය.

අවුරුදු 2  මාස  2ක්  එම  නිවසේ මගේ  ඉංග්‍රීසි   ආයතනය පවත්වා  ගෙන  ගිය අතර  අද  දින (2016-11-01) මම මගේ  අධ්‍යාපන  ආයතනය (මහගම ඉංග්‍රීසි පාසැල ) එගොඩ  පොලේගොඩ  සහ මෙගොඩ පොලේගොඩ අතර  පිහිටි  ප්‍රධාන  පාර අද්දර ගොඩනැගිල්ලකට රැගෙන  ගියෙමි. 

එහි  සිටි කාළය තුලදී   ඇතැම් දිනවල   රාත්‍රී  9 වන  තුරුත්  මා  ඉංග්‍රීසි පන්ති   පැවත්වීමි . එහෙත්  අවතාරයක්තම්  කිසි දිනක  ම  දුටුවේ  නැත.ම තනියෙන් එහි සිටි අවස්ථාද තිබිණ. එහෙත් එක්  දිනක නිවසේ ඇතුලේ කාමරයක  කිසිවෙකු  කෙඳිරි  ගාන  හඬක් දෙවරක්  හෝ  තුන්වරක්  මට ඇසුනි. ඒ ගැන  උනන්දු වූ  මා තව  දුරටත් කන් යොමු  කර  ගෙන  සිටි  නමුත්   යලිත්  එම  කෙඳිරිය  ඇසුනේ  නැත.

වටහා ගත  නොහැකිවූ  තවත් එක්  සිද්ධියක අත්දැකීමක් මෙහි සටහන් කරන්නේ මා  හොල්මන්  විශ්වාස  කරන නිසා  නොවේ. දිනක්  මා එහි  යනවිට ප්‍රධාන   දොර විවුර්ත  වී තිබුණි මා එය එතරම් සැලකිල්ලට  නොගෙන නිවසේ අනෙත්  කොටසේ   ඉංග්‍රීසි පන්තියක්  පවත්වා ගෙන යමින්  සිටින  විට විශාල  හඬක්  නගමින්  දොරක් වැසෙනු ඇසින. මා වහාම  ඒ දෙසට  ගොස්  බැලු  විට මා  එන විට  විවුර්ත  වී  තිබු  ප්‍රධාන  දොර වැසී  තිබුණි. අවට  කිවිවෙකු  නොසිටි  බැවින්  දොර වැසුනේ කෙසේ  දැයි අද  වන  තුරුම වටහා ගත  නොහැක.

කෙසේ  වෙතත් මා  මේ ස්ථානයෙන්  ඉවත්ව වෙනත්  ස්ථානයකට  'මහගම ඉංග්‍රීසි පාසැල '  ගෙන  යන්නේ  හොල්මන් වලට ඇති බියක්  නිසා  නොවේ.අයිති  කාරිය  විසින් වැඩි  මුදලකට එම  නිවාස  දුර  බැහැර  අයෙකුට කුලියට දීම නිසාය. නව  කුලී වැසියා  පැමිණීමට  නියමිතව තිබුනේ ගිය  මාසයේය . නමුත්  ඔහු මේ  වන තුරුම  පැමිණියේ  නැත  .අවිනිශ්චිත  පසුබිමක්  තිබියදී තව  දුරටත් පදිංචිව  සිටීමට මට  නොහැකි බැවින්  ද  දිනයේ  මා එම  නිවසට  ආයුබෝවන්  කීවෙමි.

මට ඇසුණු  කෙඳිරිය වැනි  හඬ ඇතැම් විටෙක යමක් වෙනත් හඬක් ද  විය  හැක. එමෙන්ම  ඇරී තිබු  දොර ශබ්ද  නගා  වැසුණේ  සුළඟට  විය  හැක. එසේ  දොර වැසීමට නම් දැඩි  සුළඟක්  නිවසැ ඇතුලෙන්  පැමිණිය  යුතුය. එහෙත් වසා තිබු  නිවසේ ඇතුලතින්  සුළඟක්  පැමිණෙන්නේ  කෙසේද?

මෙය  කියවන අයෙකු ඒ  ගැන අදහස් දැක්වන්නේ නම් මැනවි.

පහත දැක්වෙන්නේ එම  නිවසයි.