Monday, November 14, 2016

දෙවොල් මඩුව නොවැම්බර් 19




ඔන්න  මහගම  වාසි  ඔබට දෙවොල්  මඩුවක්  එළිවෙනකම්  බලා   ඉන්න  අවස්ථාවක්  උදාවෙලා. මේ මාසේ (නොවැම්බර්) 19 පොලේගොඩ  ඔන්චිල්ලා  පොලට  ආසන්නයෙන්  පැවැත්වෙන්නේ.

ෆේස් බුක්  කට්ටියට  දෙවොල්  මඩුවේ  පින්තුර  අරගෙන  ලෝකේ  පුරා  යවන්නත්  හොඳ  චාන්ස් එකක් ඇවිත්  තියෙන්නේ.

දෙවොල්  මඩුවක් නටන්නේ  ගමට  සෙත්  සාන්තියක්  ඉන් උදා වේවි  කියන  විශ්වාසය  මතයි.ඒ  ගැන  වැඩි  විස්තර විකිපීඩියා  විශ්වකෝෂයේ  පලවී  තිබෙනවා. සිංහලෙන්  එය  පලවී  තිබෙන  බැවින් ඔබට එය  පහසු වේවි..



Monday, November 7, 2016

හොල්මන් ගෙදරින් පිටවූ දින සිට ඇරඹුන කතන්දරය

 හොල්මන් ගෙදර ගැන  මා ලිවූ ලිපිය 3904 දෙනෙකු කියවා  තිබුණු  අතර එම  පිරිසෙන් 3000ක් අපේ  ගමේ වැසියන්   බවට සැකයක්  නැත. ඒ ගැන  පුංචි  පහේ  ආඩම්බරයක්ද මා සිත  තුලට කඩා වැදී  තිබේ. නව  තාක්ෂණය  අපේ  ගමේ අය විසින්   කොපමණ  වැළඳගෙන  ඇද්ද  යන්නට එය  හොඳ  සාක්කියක් නොවේද?

අපේ  ඉංගිරිසි  ඉස්කෝලේ  හෙවත් MAHAGAMA ENGLISH SCHOOL හොල්මන් ගෙදරින් ඉවත්  කර  ගෙන  මා පැමිණියේ පොලේගොඩ  පාර  අද්දර තිබෙන  ගොඩනැගිල්ලකටයි. හරියටම  කියතොත් මහගම ස්ටෝර්ස් පසුකොට මහගම තෙල් පිරවුම්  හල  දෙසට මීටර් 100ක් ගිය විට දකුණු  පස  තිබෙන  ගොඩ නැගිල්ලේ බිම් මහලටයි .එතැන් සුන්දර  ස්ථානයක්  එක  පසකින් දකින්නට  ලැබෙන්නේ ලස්සන  තේ  වත්තක් .හැම  විටකම  වගේ  හමන  මද  සුළඟ  විසින් ගොඩනැගිල්ල  A C  කර තිබෙනවා. මා   මේ  දිනවල ඉංග්‍රීසි  පාසැල  තුළ  ඉංග්‍රීසි  පරිසරයක්  ගොඩ  නගමින්  ඉන්නේ . එය හේතුව  ළමුන් හොඳින් සහ  කැමැත්තෙන්   ඉංග්‍රීසි ඉගෙන  ගන්නේ  ඉංග්‍රීසි  පරිසරයක්  තුළ  නිසයි.

ලබන  මාසේ  ( 2016 දෙසැම්බර් මස)  පළමුදා සිට වඩාත් කැමැත්තෙන්  ඉංග්‍රීසි  ඉගනීමට ළමුන් ඉගනීමට  පෙළඹ වීම  සඳහා නව වැඩ  පිළිවෙලක්  ක්‍රියාත්මක  කිරීමට සුදානම් කොට  තිබෙනවා. එක්  අංගයක් වන්නේ  පළමු ශ්‍රේණියේ  සිටම සැම  සිසුවෙකුටම ඉංග්‍රීසි  කතා  කිරීමට  පුහුණු  කිරීමයි .තවත් වැදගත් පියවරක් වන්නේ සිසුන් අතර  ඉංග්‍රීසි භාෂා තරඟ  සතිපතා  පවත්වා තෙමසකට වරක්  තෑගි දීමටත් වසරකට වරක්  සහතික  පත්  ප්‍රදානය  කිරීමයි .

මගේ ප්‍රධානතම  අරමුණ  වන්නේ මහගම වත්මන්  පරපුර ඉංග්‍රීසි  කතා  කළ  හැකි  පිරිසක්  බවට පත්  කිරීමයි.










Wednesday, November 2, 2016

හොල්මන් ගෙදර අවුරුදු දෙකක්

මහගම  මානාන  ප්‍රදේශයේ  මහපාර  අද්දර තිබෙන  කන්ට්‍රෝල් බංගලාව ගමේ  බොහෝ  අය  දන්නා  බවට  සැකයක්  නැත. මෙය ඉතා  විශාල නිවසක් වන  අතර සෑම කාමරයකටම  වාගේ  නාන  කාමර  තිබේ. අවුරුදු හතටකට පෙර මෙහි  අයිතිකරු  හර්ධයාබාධයකින්   මිය  යාමෙන්  පසු ඔහුගේ  බිරිඳත් දරුවනුත්  නිවස අත් හැර දමා කොළඹ ආසන්නයට පදිංචියට  ගියහ.

මෙම  නිවස විවිධ  අයට  වරින් වර කුලියට දී  තිබු  නමුත් වැඩි  කලක්  ඒ කිසිවෙකු එහි පදිංචිව  සිටියේ  නැත.වරක් කුඩා තේ  වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය  කාර්යාලය  මෙහි පවත්වාගෙන  ගිය  නමුත් අවුරුද්දකට  පසු එය මතුගමට ගෙන  යනු  ලැබීය.ඉන්පසු  වෙනත් අයෙකු මේහි හෝටලයක් ආරම්භ  කළ නමුත් මාස  කීපයකින්  පසු එය අවසන්  විය.ඉන්පසු  එක්තරා  පවුලක්  මෙහි  පදිංචියට ආ  නමුත් ඔවුන් සති දෙකකට වඩා  පදිංචිව  සිටියේ  නැත. සුදු  පාටට ඇඳගත්  කිසිවෙකු එහි පිටත පිහිටි වැසිකිළියක සිට එලියට  එනු  දින දෙකක්  රාත්‍රියේ  දැකීම  නිසා බියට  පත් එම  පවුලේ  අය වෙනත් නිවසක්  සොයාගෙන  යන්නට  ගියහ. ඉන්පසු  එහි  පදිංචියට  ආවේ මෙහෙණින්  වහන්සේලාය . ඔවුන් රාත්‍රිය  පුරා  පිරිතක් කියා  පදිංචි වූ  නමුත් ටික කලකින්  නිවස අත්හැර  යන්නට  ගියහ.

ඉන්පසු  එහි  පදිංචියට   ගියේ  මා ය. එම නිවසේ  කොටසක්  කුලියට ගත්  මා ඉංග්‍රීසි   පාසලක් ආරම්භ කළෙමි ඒ  2014 සැප්තැම්බර් මාසයේය. එහි  ඉගනීමට  ආ අවුරුදු 13ක් පමණ වන  ,මේ ස්ථානයට  ආසන්නයේ    පදිංචි ගැහැණු  ළමයෙකු දිනක්  මට  කීවේ අරුම  පුදුම  කතාවකි. මා  එහි  පාසැල ආරම්භ  කිරීමට වසරකට  පමණ  කලින් දිනක  ඇය එම  නිවස  අසලින්  පාරේ යන විට වසා  තිබු  නිවසේ  ඉදිරිපස  දොර  විවුර්ත කරගෙන  පැමිණි මිනිසෙකු  නිවසට එන  ලෙස අත වනා සංඥා කළ බව කීවාය. බියට  පත් ඇය ඇගේ  නිවසට දුව  ගිය  බව  තව  දුරටත් කීවාය.

අවුරුදු 2  මාස  2ක්  එම  නිවසේ මගේ  ඉංග්‍රීසි   ආයතනය පවත්වා  ගෙන  ගිය අතර  අද  දින (2016-11-01) මම මගේ  අධ්‍යාපන  ආයතනය (මහගම ඉංග්‍රීසි පාසැල ) එගොඩ  පොලේගොඩ  සහ මෙගොඩ පොලේගොඩ අතර  පිහිටි  ප්‍රධාන  පාර අද්දර ගොඩනැගිල්ලකට රැගෙන  ගියෙමි. 

එහි  සිටි කාළය තුලදී   ඇතැම් දිනවල   රාත්‍රී  9 වන  තුරුත්  මා  ඉංග්‍රීසි පන්ති   පැවත්වීමි . එහෙත්  අවතාරයක්තම්  කිසි දිනක  ම  දුටුවේ  නැත.ම තනියෙන් එහි සිටි අවස්ථාද තිබිණ. එහෙත් එක්  දිනක නිවසේ ඇතුලේ කාමරයක  කිසිවෙකු  කෙඳිරි  ගාන  හඬක් දෙවරක්  හෝ  තුන්වරක්  මට ඇසුනි. ඒ ගැන  උනන්දු වූ  මා තව  දුරටත් කන් යොමු  කර  ගෙන  සිටි  නමුත්   යලිත්  එම  කෙඳිරිය  ඇසුනේ  නැත.

වටහා ගත  නොහැකිවූ  තවත් එක්  සිද්ධියක අත්දැකීමක් මෙහි සටහන් කරන්නේ මා  හොල්මන්  විශ්වාස  කරන නිසා  නොවේ. දිනක්  මා එහි  යනවිට ප්‍රධාන   දොර විවුර්ත  වී තිබුණි මා එය එතරම් සැලකිල්ලට  නොගෙන නිවසේ අනෙත්  කොටසේ   ඉංග්‍රීසි පන්තියක්  පවත්වා ගෙන යමින්  සිටින  විට විශාල  හඬක්  නගමින්  දොරක් වැසෙනු ඇසින. මා වහාම  ඒ දෙසට  ගොස්  බැලු  විට මා  එන විට  විවුර්ත  වී  තිබු  ප්‍රධාන  දොර වැසී  තිබුණි. අවට  කිවිවෙකු  නොසිටි  බැවින්  දොර වැසුනේ කෙසේ  දැයි අද  වන  තුරුම වටහා ගත  නොහැක.

කෙසේ  වෙතත් මා  මේ ස්ථානයෙන්  ඉවත්ව වෙනත්  ස්ථානයකට  'මහගම ඉංග්‍රීසි පාසැල '  ගෙන  යන්නේ  හොල්මන් වලට ඇති බියක්  නිසා  නොවේ.අයිති  කාරිය  විසින් වැඩි  මුදලකට එම  නිවාස  දුර  බැහැර  අයෙකුට කුලියට දීම නිසාය. නව  කුලී වැසියා  පැමිණීමට  නියමිතව තිබුනේ ගිය  මාසයේය . නමුත්  ඔහු මේ  වන තුරුම  පැමිණියේ  නැත  .අවිනිශ්චිත  පසුබිමක්  තිබියදී තව  දුරටත් පදිංචිව  සිටීමට මට  නොහැකි බැවින්  ද  දිනයේ  මා එම  නිවසට  ආයුබෝවන්  කීවෙමි.

මට ඇසුණු  කෙඳිරිය වැනි  හඬ ඇතැම් විටෙක යමක් වෙනත් හඬක් ද  විය  හැක. එමෙන්ම  ඇරී තිබු  දොර ශබ්ද  නගා  වැසුණේ  සුළඟට  විය  හැක. එසේ  දොර වැසීමට නම් දැඩි  සුළඟක්  නිවසැ ඇතුලෙන්  පැමිණිය  යුතුය. එහෙත් වසා තිබු  නිවසේ ඇතුලතින්  සුළඟක්  පැමිණෙන්නේ  කෙසේද?

මෙය  කියවන අයෙකු ඒ  ගැන අදහස් දැක්වන්නේ නම් මැනවි.

පහත දැක්වෙන්නේ එම  නිවසයි.























Monday, April 4, 2016

මහා වනාන්තරයක් වූ අපේ ගම

අවුරුදු 300කට පෙර මහගම වනාන්තරයකි. ඒ බව මා දන්නේ අපේ සීයා ( ඔහු උපන්නේ 1896 ය.) කී කරුණු නිසාය. එකල  ගමේ අලි පමණක් නොව  දිවියන්ද  සිටියහ. වරක් අපේ  සීයා   කී පරිදි  ඔහුගේ සීයාගේ  කාලයේදී මහගම වල් අලි සිටියහ.  සීයාගේ සීයා උපදින්නට ඇත්තේ  1800 -1820 ත් අතරය. ඒ බව මට සිතා   ගත හැක්කේ  1900 දී අපේ  පැරණි නිවස ඉදිරිපස ගනු ලැබූ පින්තුරයක් නිසාය .


මේ පින්තුරයේ කවිච්චිය අසල හිටගෙන සිටින කුඩා ළමයා අපේ සීයාය. සුදු ඇඳුමෙන් සැරසී මැදින් වාඩිවී සිටින්නේ සීයාගේ සීයාය. පින්තුරය ගෙන තිබෙන්නේ 1900 දීය. සීයාගේ සීයා උපදින්න  ඇත්තේ  1800- 1820 අතර බව  මා   කියන්නේ  ඒ නිසාය.

අපේ  ගමේ    පළමුව  ජනාවාස වී ඇත්තේ  ගංගොඩවත්ත ප්‍රදේශයේය. එයට හේතුව වී ඇත්තේ ගංගොඩවත්ත ප්‍රදේශයේ මිනිරන් හමුවීම  නිසාය. අපේ සීයා   කිව්  පරිදි  මිනිස්සු මහගමට  පදින්ච්යට ආවේ  ඕමත්ත පැත්තේ සිටය.. මිනිරන් පතල් වල වැඩට පැමිණි මිනිස්සු නිවාස සාදාගෙන  ස්ථිර ලෙසම  පදිංචි  වී තිබේ. මිනිරන් කර්මාන්තයෙන් පොහොසත්වූ 'පොලේගොඩ මුදලාලි ' කෙනෙකු ගැන  ' කඩුල්ල ' නමැති ජනප්‍රිය ටෙලි නාට්‍යයේද  කියවේ. එකල  අපේ  ගමේ සහ  දිස්ත්‍රික්කයේ  තත්ත්වය ගැන  පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට එම  නාටකය  බැලීමෙන් ඔබට පුළුවන.

ගම හරහා දිවෙන අගලවත්ත බුලත්සිංහල  මහා මාර්ගය  තනා තිබෙන්නේ 1920 ගණන්වලය. හිටපු ඇමතිවරයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා මහතා සිය  ආචාර්ය  උපාධිය සඳහා ලියු 'ලංකාවේ මහා මාර්ග ' නමැති කෘතියේ ඒ බව සඳහන් වී තිබේ.

මා  පුංචි කාලයේ  පවා ගෝනුන් සැලකිය යුතු සංක්‍යාවක් ගමේ සිටියහ. වඳුරු රංචු විශාල  වශයෙන් සිටියහ. ඇතැම් මිනිසුන් ඔවුන් මරා  ආහාරයට ගත්  බැවින් එම සතුන් ක්‍රමයෙන් වඳවී ගොස් තිබේ.ඉඳහිට  යලිත් වඳුරු රංචු සහ රිලවුන් රංචු කීපයක් ගමේ  තැන තැන්වල දැන් දැකිය  හැක්කේ වඳුරන් මරා ගෙන  කෑම මිනිසුන් අතහැර දැමීම  නිසා විය යුතුය.

( ඉතිරි විස්තර හෙට).





Saturday, April 2, 2016

මහගම අවුරුදු 50 කට පෙර (පළමු කොටස)


ගමේ  පාසල් 

තවත් අවුරුදු 50ක් ගිය තැන අපේ  ගම තව දුරටත් ගමක් නොවනු ඇත. එය  නගරයක් වනු ඇති බවට සැකයක් නැත. නගරයක් නොව  ගමක් ලෙසම තිබුනා නම් කොතරම් හොඳ දැයි ඒ කාලයේ  ජීවත් වන අය  සිතනු ඇත.

මෙයට අවුරුදු 50 කට පෙර තිබු  අපේ  ගමත් අද තිබෙන  අපේ  ගමත් අතර ඇත්තේ  මහත් පරතරයකි. එදා ගම  පිළිබඳව මා   මෙහි ලියන්නේ  අද ජීවත් වන විශේෂයෙන්ම තරුණ  ඔබටත් අනාගතයේ  බිහිවන   මහගම පරපුරටත් දැන ගැනීම සඳහාය. 

අවුරුදු 50 කට පෙර මා පාසල් ශිෂ්‍යයෙකි.  එකල ගමේ තිබුනේ  පාසල්  දෙකකි. ඒ  පොලේගොඩ විදුහල සහ  මහගම කනිටු විදුහල .එකල පොලේගොඩ විදුහල  මහා විද්‍යාලයක් නොවේ. පන්ති තිබුනේ  හෝඩියේ (පහල   බාලාංශය ) සිට ජ්‍යෙෂ්ට පන්තිය  (  අපොස සා. පෙ. සමානය) දක්වාය. දෙල්පාවත්ත ක.වී. එසේමය.

එකල අපි පාසල් යන්නේ  පා ගමනිනි.මහ පාරේ (කලවල්ලාව-මතුගම පාර.) වාහනයක් එන්නේ  කලාතුරකින් බැවින් දෙමපියෝද දරුවන් බය නැතිවම පාසල් යාවත්.. එකල අතුරු පාරවල  තාර දමා තිබුනේද නැත.ළමුන් බොහොමයක් පාසල් යන්නේ  සරමක් සහ කමිසයක් ඇඳගෙනය.කොට කලිසම් ඇඳ පාසල් යන්නේ   කලාතුරකින් ළමයෙකි. ගැහැණු ළමුන් තරමක්  දිග ගමුම් ඇඳ ගෙන යති. කවුරුත් සෙරෙප්පු දමන්නේ  නැත. පොත් දමා  ගෙන යන්නේ  පන් මල්ලකය. අපි පුංචි කාලයේ  කිරි කෝප්පයක් සහ බනිස් ගෙඩියක්  බැගින් සෑම  ළමයෙකුටම  පාසලෙන් ලැබේ. අපේ  දෙමාපියන්  පාසල් ගිය  කාලයේ  පාසලේදී බත් ලැබුණු බව කියනු මා  අසා ඇත.

1960 ගණන් දක්වා පොලේගොඩ විදුහලේ  තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණය.ක්‍රීඩා පිටියක් තිබුනේද නැත. දැන් ක්‍රීඩා පිටිය තිබෙන තැන එකම කැලෑවැකි. පිරිමු ළමුන් මුත්‍රා කිරීමට යන්නේ එතනටය. ගැහැණු ළමුන්ට සහ ගුරුවරුන්ට නම් වැසිකිලි දෙකක් තිබිණ.  දෙල්පාවත්ත හන්දියේ  තිබෙන මහගම ක.වී.හී තිබුනේද ගොඩ නැගිලි දෙකක් පමණි.ඉම්මිල්ල පාරේ තිබෙන  පාසල් ගොඩ නැගිලි හැදුවේ ඉතා මෑතකදීය.

පොලේගොඩ විදුහලේ ඉතා සැර විදුහල්පති වරයෙක් 1950 දසකයේ සහ 1960 දසකයේ  මුල් කාලයේ සිටියේය. ඔහුගේ  නම ගුනසේනය. ඔහු අඩි 5 ක්වත් උස නැත. ඇන්දේ ජාතික ඇඳුමය. අවිවාහකයෙකු වූ ඔහු පාසලේම නැවතී සිටියේය, වැරදි කරන ළමුන්ට ඔහු කොතරම් ශබ්ද  නගා  බනින්නේද  යත්  පොලේගොඩ හන්දියට පවා ඔහුගේ  ඝෝර නාඩුව  ඇසේ. බනින විට  ඔහු නිතර  කී වාක්‍යයක් වන්නේ " කට්ට  කයිරාටික වෙට්ට පිත්තල  එවුන්" යන්නය.

පොලේගොඩ විදුහල  පළමුවෙන් අරඹා ඇත්තේ  තැන්නහෙන පාරේ මහවත්තට හැරෙන තැන ඉඩමකය. මහගම සමජසේවකයෙකු වූ සුදර්ශනාරාම  පාරේ පදිංචිව සිටි කුලරත්න  නම් මහතෙකු පාසැල පටන් ගැනීමට මුල්වී තිබේ. පළමු ශිෂ්‍යයා වී ඇත්තේ  ඔහුගේ පුත්වූ  සෝමපාල කුලරත්න මහතය. සෝමපාල මහතා  පසු කලක මහගම තැපැල් හලේ ස්ථානාධිපතිවරයා විය. ඔහුද මීට අවුරුදු 2කට  පෙර (1914)  මියගියේය.

මහගම පළමුවෙන් ඇරඹු පාසැල උතුරු මහගම පිහිටි මහගම ක.වී. යයි. එය  ඇරඹීමට මහගම සුදර්ශනාරාමයේ  විසු භික්ෂුවක්  මුල් තැන ගත්  බව මා අසා තිබේ.

(දෙවන කොටසින් ගමේ  වෙනත් විස්තර )
































Thursday, March 31, 2016

අපේ ගමේ ඉංග්‍රීසි පාසැල


අපේ  ගමේ ඉංග්‍රීසි පාසැල  තිබෙන්නේ මානානේ කොන්ට්‍රෝල් බන්ගලාවේය. ප්‍රධාන  පාර අද්දර  පිහිටි එහි  නිස්කලංකව  ඉගන ගත  හැකිය.
2 ශ්‍රේණියේ  සිට  උසස් පෙළ දක්වා සිසුන්ට  ඉංග්‍රීසි පන්ති එහි පැවැත්වෙන අතර කණ්ඩායම් පන්තිද එහි පැවැත්වේ.

රැකියා කරන අයගේ  කණ්ඩායම් පන්තිද මෙහි පවත්වනු ලැබේ.

2015 O/L ප්‍රතිඵල විශිෂ්ටයි.

2015 වසරේ  සා.පෙ. විභාගයේදී මෙම  ආයතනයෙන් ඉංග්‍රීසි  ඉගන ගත්  සිසුන්ගෙන් 80% සමත් වී තිබේ

මෙහි උගන්වන්නේ  මතුගම අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස වසර 8ක් සේවය  කලාවුද රජයේ  පාසල්වල අවුරුදු 25ක් ඉංග්‍රීසි ඉගැන්වුද බර්ටි රණවීරගේ මහතාය.

වැඩි දුර  තොරතුරු දැනගැනීම සඳහා 072 215 97 87 ට අමතන්න.